රජය
ශ්‍රී ලංකාවේ පශ්චාත්-ස්වාධීන පසුතලය තුළ, ජනමාධ්‍ය ලෝකයේ සැලකිය යුතු කොටසක් රජයට අයත්ව තිබිණි. සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) රජයට අයත් ප්‍රකාශන සමාගමක් වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) රජයට අයත් රූපවාහිනී විකාශන සමාගම් වේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) රජයට අයත් නිල ගුවන් විදුලි විකාශන ආයතනය ලෙසින් පවතී. මාධ්‍ය හිමිකාරීත්වය තුළ සෘජුව පය ගසාගෙන සිටීමට අමතරව, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (SLPC) සහ විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) ඔස්සේ රජය මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සම්බන්ධ නියාමන ආයතනයක් ලෙසින්ද ක්‍රියා කරයි. විදුලි සංදේශ නියාමන කොමිසම හැරෙන්නට මෙම අනෙකුත් ආයතනය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැමිණේ.
මුද්‍රිත මාධ්‍ය අංශයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නැතිනම් පොදුවේ දන්නා පරිදි ලේක් හවුස් ආයතනය හරහා රජය කොටස්කරුවෙකු වී සිටී. මෙම ආයතනය ස්ථාපිත කෙරුණේ 1981 වසරේ අංක 35 දරණ සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ලිපිනයේයි. මීට පෙර එය ලේක් හවුස් සමූහය නම් පුද්ගලික සමාගමක් විණි. වර්තමානයේදී ලේක් හවුස් ආයතනයේ සමස්ත කොටස් වලින් 87.56% ක හිමිකාරීත්වය ඇත්තේ රජය වෙනුවෙන් මහා භාරකාර තැන වෙත වේ. මහා භාරකාර තැන වූ කලී මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක් වන අතර, එය 1922 අංක 1 දරන මහා භාරකාර ආඥා පනතින් පිහිටුවන ලදී. මෙය ශ්‍රී ලංකා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.
ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළ රජයේ භූමිකාවේ වඩාත්ම පූර්ව අවදිය වාර්තාගතවී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පිහිටුවීම සමගිනි. ගුවන් විදුලි දෙපාර්තමේන්තුව (ඉන් පෙර එය ලංකා ගුවන් විදුලිය නැතිනම් රේඩියෝ සිලෝන් ලෙසින් හැඳින්වුණි), 1966 වසරේ අංක 37 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත ඔස්සේ ව්‍යවස්ථාපිත සංස්ථාවක් බවට පත් කෙරිණි. මෙම පනත අමාත්‍යාංශය මගින් තවදුරටත් භාවිතා කරනු ලැබුවේ, පුද්ගලික ගුවන් විදුලි ආයතන සඳහා බලපත්‍ර ලබාදීමටයි. රූපවාහිනී විකාශනයන් සම්බන්ධයෙන් ගත් විට, 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවිණි. එය රජයට අයත් නිල රූපවාහිනී විකාශන සේවාව වන අතර, උක්ත කී පනත පුද්ගලික රූපවාහිනී විකාශන බලපත්‍ර ලබාදීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතා කරයි. කෙසේ වුවත් පළමුවෙනි රූපවාහිනී විකාශනාගාරය ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) නම් පුද්ගලික ආයතනයක් විණි. මෙම ආයතනය ජනසතු කොට රජයට අයත් සමාගමක් බවට පත් කරන ලදී. වර්තමානයේදී එයද ක්‍රියාත්මක වන්නේ 1982 වසරේ අංක 06 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ විෂය පථය යටතේ වේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අරමුදල් සැපයෙන්නේ බදු මුදල් වලින් වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී ජාලයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ අනුග්‍රාහක වැඩසටහන් සහ වෙළෙඳ දැන්වීම් සඳහා ගුවන් කාලය විකිණීම වේ. 2012 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව, ආදායම් මූලාශ්‍රයක් වශයෙන් රුපියල් මිලියන 11 ක 'රාජ්‍ය ප්‍රතිපාදනයක්' ඇතුලත් කොට තිබිණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශාල වශයෙන් යැපෙන්නේ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය යටතේ ඇති) මගින් සපයන බදුගෙවන්නන්ගේ මුදල් මත වේ. තවදුරටත් දක්වන්නේ නම්, වර්තමාන ව්‍යුහය ඔස්සේ පූර්වෝක්ත ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම හා ඉවත් කිරීම විෂයෙහි අමාත්‍යාංශයට අත්‍යන්ත බලයක් ලබාදේ. ඉහත කී පනතේ මෙම පත්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සහ සම්මතයන් පිළිබඳව විශේෂිතව සඳහන් කොට නොමැති බැවින්, බොහෝ දුරට අමාත්‍යාංශයට එම ආයතනයේ සංවිධාන ව්‍යුහයේ වඩාත් මධ්‍යගත භූමිකාවක් අත්පත් කොටගෙන සිටීමට අවකාශ ලබාදේ.
අවසාන වශයෙන් නියාමන ආයතනයක් ලෙසට රජයේ පාර්ශවය ලෙසින් 1973 වසරේ අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ඔස්සේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිහිටුවන ලදී. අතීතයේදී මෙම ආයතනය ජනමාධ්‍යයන්ට එරෙහි පැමිණිලි විමර්ශණය, දඬුවම් පැමිණවීම සහ පුවත්පත් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බියගැන්වීමේ මෙවලමක් ලෙසින් ක්‍රියාත්මක වූ බව වාර්තා වේ. 2015 දී ජනපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණීමෙන් පසුව ඔහු විසින් සෘජුවම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත් කොට එය නැවත ක්‍රියාත්මක කරවන්නට යෙදිණි. අනෙක් අතට 1991 වසරේ අංක 25 දරණ විදුලි සංදේශ පනත යටතේ පිහිටවුණු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ගුවන් විදුලි පරාසයන් සඳහා බලපත්‍ර නිකුත් කරයි. මෙහිදීද කොමිසම සඳහා කරනා පත්වීම් විශාල වශයෙන් දේශපාලනීකරණය වී තිබීමේ නැඹුරුවක් ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, පෙර රජයේ සහ වර්තමාන රජයේ යන දෙකේම ජනාධිපති ලේකම් වරුන් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාගේ තනතුර පවරා ගෙන ඇත.
වැඩිදුර තොරතුරු
දත්ත පිළිබඳ තොරතුරු
රජයේ මාධ්‍ය ආයතනයන් හා නියාමනයන් පිළිබඳ තොරතුරු රජයේ නිල වෙබ් අඩවි තුල මෙන්ම ද්විතීයික මූලාශ්‍ර තුලද ලබාගැනීමට තිබිණි. හිමිකාරීත්ව ආකෘතිය පිළිබඳ දත්ත ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවන්ගෙනි.